හොර පාරෙන් ඉතාලි යන්න ගිය කතක් හසුවේ

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.සැකකාරිය පොතුවිල් හි පදිංචි තිස් දෙහැවිරිදි තරුණියකි.

ඇය තම සැබෑ ගුවන් ගමන් බලපත හා මාලදිවයිනට යාමට ලබාගත් ගුවන් ටිකට් පතක් ගුවන්ගමන් බලපත් කවුළුවට ඉදිරිපත් කර ගුවන්ගතවීමට අවශ්‍ය ලියකියවිලි ලබා ගෙන ආගමන විගමන අංශයටද ගොස් මාලදිවයින බලා යාමට අනුමැතිය ලබා ගෙන ඇත.

කෙසේ නමුත් ඇය ගුවන්යානයට ගොඩවීමට ආසන්නයේ ඇති අවසන් පරීක්ෂා කිරීමේ කවුළුවට පවසා ඇත්තේ ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ බවයි. ඇය එහිදී වෙනත් ගුවන් ගමන් බලපතක් හා ඉතාලියේ රැදී සිටීමට සාදන ලද ලියිකියවිලි පෙන්වා එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන් ඩුබායි හරහා ඉතාලියට යාමට උත්සහ කරද්දී අත් අඩංගුවට ගෙන ඇත.

පසුව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවකගේ නමට සැකකාරියගේ ඡායාරූපය යොදා ව්‍යාජ ගුවන් ගමන් බලපතක් ඇතුළු ලියකියවිලි සකස් කර ඉතාලි යාමට උත්සහ කර ඇති බවයි.

මේ සඳහා ඇය කොළඹ කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ගෙවා අදාල ලියකියවිලි සකස් කර ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

සැකකාරිය ආගමන විගමන අංශයට තම සැබෑ ගුවන්ගමන් බලපත පෙන්වා ආගමන විගමන අංශයෙන් මිදී පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපතකින් විදේශගතවීමට උත්සහ කර ඇති බව පොලසීය කියයි.

මේ පිළිබඳ විමර්ශණ සිදුකිරීමෙන් අනතුරුව සැකකාරිය මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.