මැදපෙරදිග විපතට පත් 1,300ක් යළි ඇවිත්

මැදපෙරදිග රටවල රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,300කට වැඩි පිරිසක් අනාථව, අසරණව පසුගිය (පෙබරවාරි) මාසය තුළ ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මේ අතරෙන්, උඩුමහල්වලින් තල්ලු කිරීම, පැනීම, වැටීම හා හදිසි අනතුරු හේතුවෙන්ද, රෝගාබාධ හේතුවෙන්ද පැමිණි 20 දෙනකු පමණ රෝහල්ගත කිරීමට හා ඥාතීන්ට භාර දීමටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත.

සේවා ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් ආපසු පැමිණි 40 දෙනකු පමණ පැමිණි පිරිස අතර වෙති.අසරණව පැමිණි 900කට වැඩි පිරිස කුවේට් හා සෞදි අරාබිය සිට පැමිණි අය වෙති. එක්සත් අරාබි එමීර්, ජෝර්දාන්, ලෙබනන්, කටාර් යන රටවලින් සෙසු පිරිස පැමිණ ඇත.

කටුනායක ගුවන්තොටුපොළ සිට තම නිවෙස් බලා යෑමට පවා මුදලක් නොමැතිව අසරණ වූ 600කට වැඩි ශ්‍රමිකයන්ට නිවෙස් බලා යෑම සඳහා මුදල් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගත්තේය.