හොරෙන් ඉතාලි යවන්න ‘දෙන්නෙක්’ මාට්ටු

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තැරැව්කරුවෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා යාපනයේ අච්චුවේලි, සහ නිර්වේලි යන ප්‍රදේශවල පදිංචිකරු‍වන් වන අතර තැරැව්කරුවන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මින් තරුණයන් දෙදෙනා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 207 දරණ ගුවන් යානයෙන් අබුඩාබි බලා යාමට පැමිණ ඇත. ඔවුහු ගුවන්තොටුපොළ ප්‍රවේශ පත් කවුන්ටරය අසල සැක කටයුතු අන්දිමන් හැසිරෙනු දුටු රහස් පොලිස් නිලධාරීන් ඔවුන් පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී ගුවන් ගමන් බලපත් හතරක් සොය‍ාගෙන ඇති අතර ඉන් දෙකක් නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් බවත් ඉතිරි දෙකෙහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉතාලි වීසා ස්ටිකර අලවා ඇති බවත් අනාවරණය කරගෙන ඇත.
පසුව රහස් පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම ප්‍රශ්ණ කරද්දී තරුණයන් දෙදෙනාව ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ එක් තැරැව්කරුවෙකු පිටත්වීමේ පර්යන්තයේදී ද, අනෙකා ඔවුන් පැමිණි වාහනයේ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
මේ එක් තරුණයෙකු ඉතාලියට ගිය පසු ඔවුන්ගේ ඥාතීන් විසින් රුපියල් ලක්ෂ 25 ක් පමණ තරැව්කරුට ගෙවන බව වාර්ථා වෙයි