කාන්තාවන් මැදපෙරදිග යවන්න මම කැමති නැහැ -තලතා

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යැවීම පිළිබඳව තමා පෞද්ගලිකව අකමැති හෙයින් ඊට වඩා යහපත් සේවා වෙළඳපළක් සොයා ගැනීම තම අභිප්‍රාය බව විදේශ සේවා කටයුතු පිළිබඳ ඇමතිවරිය පැවසුවාය.කාන්තාවන් මැදපෙරදිග යාම තුළ දරුවන්ට යන කල දසාව දෙස, කාන්තාවක් වශයෙන් බැලීමට තමන්ට සිදු වන බවයි විදේශ සේවා කටයුතු පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියේ.

‘මම කාන්තාවක් හැටියට මේ ප්‍රශ්න දෙස බලන්නේ. අම්මලා නැතුව දරුවන් හැදෙන එක අද සමාජීය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මාධ්‍ය මං ගැන මොනව කිව්වත් මට කරන්න දෙයක් නැහැ. මම වැඩ කරන්නේ මගේ හෘද සාක්ෂියට එකඟව. මීට වැඩිය නීති රීති ගරු කරන, කාන්තාවන් ගැන වගකීමක් තියෙන වෙනත් තැනක් මට සොයා ගැනීමට හැකි නම් කිසි ගැටළුවක් නැහැ.’ තලතා අතුකෝරළ ඇමතිවරිය පැවසුවාය.
ඇය මේ බව කියා සිටියේ සෞදි අරාබියේ මරණ දණ්ඩනයට නියම වී සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා බේරා ගැනීම සඳහා ඇය දරන උත්සාහය පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී යි.

ඔවුනට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ලිපිය සෞදි රජතුමාට භාර දීම සඳහා විෂය භාර ඇමතිවරිය ලෙස තමා නොගොස් ඒ වෙනුවට රවුෆ් හකීම් ඇමතිවරයා පිටත් කර හැරීමට තීරණය කළේ මන්දැයි ඇය පැහැදිලි කළාය.

‘මම කාන්තාවක්. ඒ රටේ සංස්කෘතියට අනුව කාන්තාවක් එවැනි දේට සම්බන්ධ වීම ඒ අය අනුමත කරන්නේ නැහැ. දෙවැනි කාරණය රාවුෆ් හකීම් සෞදි රජ පවුල සමඟ විශේෂ සම්බන්ධයක් තියෙන අමාත්‍යවරයෙක්. අනික මුස්ලිම් භක්තිකයෙකු ලෙස ඊට සම්බන්ධ වීම තුළ වැඩි බරක් ලැබෙනවා. යන්නේ කවුද කියන එක නෙමෙයි හිතන්නේ. මේ තුන් දෙනා බේර ගැනීමයි අපේ අරමුණ.’ තලතා අතුකෝරළ ඇමතිවරිය ප්‍රකාශ කළාය.

වසර 2007 දී යෙමන් ජාතිකයෙකු මරා දැමු බවට එල්ල වූ චෝදනා මත ඉහත කී ශ්‍රී ලාංකිකයන් තිදෙනාට මරණ දණ්ඩනය නියම වී තිබේ.